ඡන්ද කාඩ් මුද්‍රණය ප්‍රමාද වෙන කතාවක් මුද්‍රණාලයාධිපතිනිය කලින් කිව්වේ නෑ

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන තැපැල් ඡන්ද පත්‍රිකා හෙට (පෙබ. 18) බෙදාහැරීමට නොහැකි වුවහොත්, තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින වෙනස් කිරීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් ජී. පුංචිහේවා ‘මව්බිම’ට පැවසීය.

ඡන්ද විමසීමේදී අවශ්‍ය ඡන්ද පත්‍රිකා ඇතුළු අනෙකුත් මුද්‍රණ කටයුතු මේ අන්දමින් ප්‍රමාදවීම සමස්ත ඡන්දයට ම බලපාන බවත්, මුද්‍රණ දෙපාර්තමේන්තුවට ඇණවුම් භාර දෙන අවස්ථාවේ මුද්‍රණාලයාධිපතිනිය මේ අන්දමට ප්‍රමාදවන කතා කීවේ නැතැයි ද සභාපතිවරයා පැවසීය.

සැලසුම් කර ඇති දිනවල තැපැල් ඡන්ද පත්‍රිකා තේරීම් භාර නිලධාරීන් අතට පත්කිරීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය නිර්මාණය වූ බව සඳහන් කළ සභාපතිවරයා පවතින ප්‍රමාදය තවදුරටත් පැවැතුණහොත් ඡන්දය නියමිත දිනයේ පැවැත්වීම පිළිබඳ ගැටලුවක් නිර්මාණය විය හැකි බව ද සඳහන් කළේ ය.

යම් හෙයකින් පළාත් පාලන ඡන්දය නියමිත දිනයේ පැවැත්වීමට නොහැකි වාතාවරණයක් ඇති වුවහොත් ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කර තීරණයක් ගනු ලබන බවද හෙතෙම පැවසීය.

රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක කටයුතු සඳහා ප්‍රමාණවත් නිලධාරීන් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බව සඳහන් කළ සභාපතිවරයා, කලින් පැවැති මැතිවරණවලදී මැතිවරණ රාජකාරිවලට සහභාගි වූ පොලිස් නිලධාරීන් සඳහා ගෙවිය යුතු සියලුම ගෙවීම් සිදුකර ඇතැයි ද සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *