ප්ලාස්ටික් අයිතම නවයක්ඤ ඔක්තෝබර් පලමුවෙනිදා සිට තහනම්!

එළඹෙන ඔක්තෝබර් මස 1 වන දා සිට තනි භාවිත ප්ලාස්ටික් අයිතම නවයක් තහනම් කරමින් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් පරිසර ඇමැතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව 2023 ජූලි මස 19 දිනැතිව අංක 2341/30 දරන ගැසට් පත්‍රය මගින් තනි භාවිත ප්ලාස්ටික් අයිතම 9ක් මේ අයුරින් රට තුළ භාවිතය සඳහා වන යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා යොදා ගැනීම තහනම් කර තිබේ.

ඒ අනුව තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන, තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි යන අයිතම එළැඹෙන ඔක්තෝබර් 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි තහනමට ලක් වන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ පැවසීය.

ගැසට් නිවේදනය ප්‍රකාරව එළැඹෙන ඔක්තෝබර් 1 වන දා යින් පසු මේවා රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, නොමිලේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

යම් හෙයකින් එම තහනම කඩ කළහොත් ඒ අයට එරෙහිව ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු අවධාරණය කළේ ය.

මේ තහනම පනවනු ලැබුවේ අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් අයිතම භාවිතය සහ ඒ ආශ්‍රිතව පැන නගින පාරිසරික ගැටලු අවම කර ජීවීන් ඇතුළු පරිසරය රැක ගැනීමට පිටිවහලක් ලබා දීමේ අරමුණෙන් යැයි ද හෙතෙම කීය.

පරිසර හිතකාමී විකල්ප ආශ්‍රිත දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය සඳහාද ප්ලාස්ටික් ආනයනයේදී විදේශ විනිමය අඩුකර ගැනීමට ද මින් පිටිවහලක් සැලසෙනු ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *