ශ්‍රීලනිප සත්වත්සරය පවත්වන ස්ථානය ගැන පක්ෂයේ මතගැටුමක්!

හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සර සමුළුව, පසුව කොළඹ දී පවත්වන්නට තීරණය කිරීම සම්බන්ධයෙන් පක්ෂ තුළ මතගැටුමක් නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එම තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සමුළුව ලබන මස 02 වැනිදා හෙට්ටිපොළ දී පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණි

එහෙත් පසුව එම තීරණය හදිසියේ වෙනස් කර සංවත්සර සමුළුව ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැත්වීමට තීරණය කර ඇත.

හෙට්ටිපොළ දී පැවැත්වීමට තීරණය කළ සමුළුව හදිසියේ අවලංගුකර කොළඹදී පැවැත්වීමට තීරණය වී ඇත්තේ ,ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගේ ඉල්ලීම මත බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සඳහන් කළේ, හෙට්ටිපොළ දී පැවැත්වීමට නියමිතව තිබූ සංවත්සර සමුළුව කොළඹ දී පැවැත්වීම සම්බන්ධයෙන් තමාගේ කැමැත්තක් නොමැති බවය.

හෙට්ටිපොළ දී සංවත්සර සමුළුව සංවිධානය කිරීමට ෂාන් විජයලාල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර ඇති බව කී මන්ත්‍රීවරයා එම කමිටුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් අවස්ථා දෙකකදී රැස්වී සාකච්ඡා කළ බවද කීවේය.

සංවත්සර සමුළුව හෙට්ටිපොළ පැවැත්වීමට තීරණය කර සංවිධායකයන්ට ආරාධනා පත්‍ර ද යවා තිබියදී කිසිදු දැනුවත් කිරීමකින් තොරව ස්ථානය වෙනස් කිරීම ගැන පුදුම වන බව ඔහු කීවේය. මෙය ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගේ වුවමනාවට කළ දෙයක් කී හෙතෙම ආණ්ඩුව සිටින්නේ විපක්ෂයේද ආණ්ඩුවේද යන්න මුලින් තීරණය කරගත යුතු බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම ප්‍රතිපත්තියක් නැති පක්ෂයක් බවට පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය

කොළඹ පැවැත්වෙන සංවත්සර සමුළුවට සහභාගි වන්නේදැයි කළ විමසීමකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා කීවේ ඊට සහභාගි වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *