වකුගඩු සැත්කමක් වැරදීමෙන් තුන් හැවිරිදි දරුවකු මිය යයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකරන ලද වකුගඩු සැත්කමක් වැරදීමෙන් තුන් හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

වයස අවුරුද්දක් පමණ වන විට එම දරුවාගේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබූ අතර, වම් වකුගඩුව ඉවත් කළ යුතු බවට වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා.

එහිදී දකුණු වකුගඩුව නීරෝගී තත්ත්වයේ පවතින බවත් වෛද්‍යවරුන් හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඉන් අනතුරුව 2022 දෙසැම්බර් 24 වනදා අදාළ දරුවා සැත්කමට භාජනය කරනු ලබන අතර පසුව දරුවාට මුත්‍රා කිරීමේ ගැටලුවක් මතුවී අසාධ්‍ය තත්ත්වයට පත්වූ බවයි දරුවාගේ දෙමව්පියන් සඳහන් කරන්නේ.

එම දරුවා යළිත් ස්කෑන් පරික්ෂාවකට ලක් කර විශේෂඥ වෛද්‍යවරුන් විසින් පරික්ෂාවට ලක් කරන අතර එහිදී නිකුත් වූ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන්නේ දරුවාගේ අක්‍රියව පැවති වම් වකුගඩුව මෙන්ම නිරෝගීව පැවති දකුණු වකුගඩුවද වැරදීමකින් ඉවත් කර ඇති බවත් එම වකුගඩු දෙකම එකට බද්ධව පැවති බවයි.

ඒ අනුව එතැන් සිට දරුවාගේ ජීවිතය රඳා පැවත තිබෙන්නේ රුදිර කාන්ඳු පෙරණය මත වන අතර පසුව දින ගනනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ එම දරුවා මියගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෝහල් අධ්‍යක්ෂ ජී.විජේසූරිය සඳහන් කළේ, බද්ධව පැවති දරුවාගේ වකුගඩු සැත්කමේදී ඉවත්ව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *