පොලිස්පති තනතුරේ කටයුතු අධීක්ෂණයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පත් වේ…

පුරප්පාඩුව පවතින පොලිස්පති තනතුරට අදාළව නාමයෝජනා හෝ වෙනත් තීරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තවමත් දැනුම් දී නොමැති නිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් පොලිස් මූලස්ථානයේ පරිපාලන කටයුතු තාවකාලිකව අධීක්ෂණය කරන බව වාර්තා වේ.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න එම ධූරයෙන් විශ්‍රාම යෑමත් සමඟ, එම ධූරය සතියක කාලයක් පුරප්පාඩු වී තිබීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇත.

ජනාධිපතිවරයා විසින් මේ දක්වා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නාමයෝජනා යොමු කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් වෙනත් කිසිදු තීරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දන්වා නොමැති බවත්, එහි සාමාජිකයෝ සඳහන් කරති.

පොලිස්පතිධූරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නාමයෝජනා භාරදීමට ජනාධිපතිවරයා සූදානමක් ඇත්දැයි ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායකගෙන් විමවූ විට ඔහු සඳහන් කළේ, එවැනි සන්නිවේදනයක් සිදුව ඇත්දැයි යන්න පිළිබඳ තමන් නොදන්නා බවයි.

පොලිස්පතිවරයා නොමැති අවස්ථාවක් බැවින්, පොලිසියට අදාළ පරිපාලන කටයුතු අධීක්ෂණය කරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කරයි.

මේ අතර, ජනාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව් දෙනෙක්ගේ නාමයෝජනා පත්‍ර හෙට (04) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *