“ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් එහි කටයුතු හිතාමතා කඩාකප්පල් කරනවා”- ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය චෝදනා කරයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ යම් බලධාරීන් පිරිසක් එහි කටයුතු හිතාමතා කඩාකප්පල් කරමින් ඒවා ව්‍යාකූල කිරීමේ ක්‍රියාවලියක නියැළී සිටින බව පවසමින් සහ එම තත්ත්වය සම්බන්ධයෙන් නොපමාව අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දීර්ඝ ලිපියක් යොමු කර ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පසුගාමී පියවර හේතුවෙන් මෙරට ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇතැයි ද වෛද්‍ය සංගමය සිය ලිපියෙන් අවධාරණය කොට තිබේ.

පසුගිය ජූනි 26 දාතමින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද මේ ලිපියෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ, මෙරටට ඖෂධ ගෙන්වීමේදී තාක්ෂණික ඇගැයීම් කටයුතු කිරීම සඳහා ඇති විශේෂඥ කමිටුවට ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු ද ඇතුළත් විශේෂඥ මණ්ඩලයක් පත් කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා මේ වන තුරුත් පියවර ගෙන නොමැති බව ය.

එමෙන් ම, මෙරට ඖෂධවල මිල පිළිබඳව සොයා බැලීමට හා ඒවා අනුමත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ඇති ‘මිල කමිටුව‘ මේ වන විට සම්පූර්ණයෙන් ම අකර්මණ්‍ය වී ඇති බවටද ඔවුහු සිය ලිපියෙන් චෝදනා නගති.

මේ හේතුවෙන් මෙරට අලුතින් ලියාපදිංචි කරන ඖෂධවල මිල තීරණය වනුයේ සහ ඒවා අනුමත වනුයේ කෙසේ ද යන්න පිළිබඳ ක්‍රියාවලිය අපැහැදිලි යැයි ද ඔවුහු සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

එමෙන් ම, එම අධිකාරියේ පැවැතිය යුතු තත්ත්වයෙන් බාල ඖෂධ පිළිබඳ ඇගැයීමේ කමිටුව ද යළි පත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බව වෛද්‍ය සංගමය සිය ලිපියෙහි දක්වයි.

පසුගිය දිනවල මෙරට සිදු වූ ඇතැම් මරණ මෙරටට ගෙන්වූ ඖෂධවල ගුණාත්මක භාවය පිරිහීම නිසා සිදු වූ ඒවා ද යන්න පිළිබඳව ගැටලුද නිර්මාණය වූ අතර එවැනි ඖෂධ අධ්‍යයනය කිරීමට පවා අපහසුතාවක් නිර්මාණය වී ඇතැයි ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් අවධාරණය කොට ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගැයීම් සම්බන්ධයෙන් කටයුතු කළ අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ ඖෂධවේදීන් හදිසියේ ම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර යැවීම නිසා ඖෂධ ඇගැයීම් ක්‍රියාවලිය සඳහා ප්‍රමාණවත් තරම් ඖෂධවේදීන් නොමැති තත්ත්වයක් එම අධිකාරිය තුළ උද්ගතව ඇතැයි වෛද්‍ය සංගමය චෝදනා කරයි.

එම තත්ත්වය තුළ ඖෂධ ලියාපදිංචි කිරීමේදී පරික්ෂා කෙරෙන ගුණාත්මක ඇගැයීම් නිසි පරිදි සිදු නොවන වාතාවරණයක් දැනටමත් නිර්මාණය වී ඇති බව එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *