කටුගස්තොට හිමිනමක් පන්සලේ පූජා භාණ්ඩ හොරකම් කිරීමේ වරදට අත්අඩංගුවට…

කටුගස්තොට හල්ඔළුව ශ්‍රී සාරානාථ පිරිවෙන් විහාරස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනාකමින් යුත් පූජා භාණ්ඩ සහ උපකරණ තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විහාරස්ථානයේම වැඩවසන හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

විහාරවාසී හමංගොඩ සුමංගල හිමි විසින් කටුගස්තොට පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව, සිදු කළ පොලිස් පරීක්ෂණයේදී සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාර හිමිනම වරද පිළිගෙන ඇත.

ඒ අනුව, පසුගිය අප්‍රේල් මාසයේදී සිදුවී ඇති මෙම සිද්ධියේදී, සුදු යකඩ පාත්තර 50ක්, ශබ්ද පරිපාලන යන්ත්‍ර 05ක්, බෆල් 24ක්, පිත්තල බන්දේසි සහ පිත්තල මල්පෝච්චි ඇතුළු භාණ්ඩ සොරාගෙන තිබේ.

සොරාගත් භාණ්ඩ කටුගස්තොට ප්‍රදේශයේ පූජා භාණ්ඩ අලෙවි සැලකට විකුණා තිබියදී එම භාණ්ඩවලින් කොටසක් පොලිසිය සොයාගෙන ඇත.

මහනුවර අධිකරණ හමුවේ ද වරද පිළිගෙන ඇති සැකකාර හිමිනම, රුපියල් 15,000ක මුදල් ඇපයක් සහ රුපියල් 150,000ක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.

එමෙන්ම හිමිනමට නොවැම්බර් 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *