ලංකා විදුලි බල මණ්ඩලය විකුණා දැමීමකින් හෝ පෞද්ගලිකකරණය කිරීමකින් තොරව කෙරෙන නිවැරදි ප්‍රතිව්‍යුහගත කිරීමට සහය දීමත් ඇතුළු මූලික යෝජනා තුනක් සම්මත කර ගැනීමට ලංවිම සේවකයෝ ඊයේ (ජූනි 21) කටයුතු කළහ.
ලංවිම පෞද්ගලිකකරණයට එරෙහිව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරමින් ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්, විශ්‍රාමිකයන් ඇතුළු වෘත්තීය සමිති සාමාජිකයන් ඊයේ විහාරමහාදේවි උද්‍යානයට රැස්ව සමුළුවක් පැවැත්වූ අතර එහිදී මෙම යෝජනා සම්මත කර ගනු ලැබීය.
කෙසේ නමුත්, මෙම සමුළුව හේතුවෙන් සාමාන්‍ය දෛනික විදුලිය සැපයුමට බාධාවක් නොවූ අතර ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ඉන්ජිනේරුවන්ගේ සංගමයේ ලේකම් ඉසුරු කස්තුරිරත්න පවසා සිටියේ විදුලි සැපැයීම් සේවාවලට බාධාවක් නොවන පරිදි මෙම සමුළුව පවත්වන බවයි.
හදිසි බිඳ වැටීම් වාර්තා වුවහොත් එය ද පාලනය කිරීම සඳහා සේවක පිරිස් කටයුතු කරන බවත් ලේකම්වරයා මෙහිදී කීය.
මේ වනවිට විදුලි සේවකයන් මුහුණ දෙන වෘත්තීය ගැටලු ද මෙම සමුළුවේදී සාකච්ඡා කෙරිණි.


