රැකියා සඳහා විදෙස්ගත වූ අය සහ ඔවුන්ගේ පවුල් නගා සිටුවීම සඳහා විශේෂ ශුභසාධන වැඩසටහනක් ක්‍රියාත්මක වන බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (අප්‍රේල් 25) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදේශගත ශ්‍රමිකයින්ට ත් විදේශ රැකියාවල නිරතව මෙරටට පැමිණ ව්‍යවසායකයින් ලෙස කටයුතු කිරීමට අපේක්ෂිත අයට ත් රුපියල් මිලියන 2 දක්වා අඩු පොළී ණය පහසුකම් ලබා දීමට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කළ බව ද ඔහු සඳහන් කළේ ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා පැවසුවේ, විදේශ රැකියාවල නිරත වන ගෘහ සේවිකාවන්ගේ පවුල්වල තත්ත්වය ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසු නිරන්තරයෙන් පසුවිපරම් කරන බව ය.
“විදේශගත ශ්‍රමිකයින්ගේ වගේ ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ශුභසාධනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් කාර්යාංශය කටයුතු කරනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා රැකියා සඳහා පිටත්ව යන සියලු ම ශ්‍රමිකයින්ගේ දත්ත කාර්යාංශයේ පරිගණක පද්ධතියේ ඇතුළත් වෙනවා. ඒ වගේ ම විදේශ රැකියා අමාත්‍යංශය යටතේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන් හරහා පවුල්වල සුබසාධනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනවා.
රට ගියා ම පවුලේ අය ගැන බලා ගන්නවා වගේ ම, රට ගොස් නැවත පැමිණෙන ශ්‍රමිකයා සවිබල ගැන්වීමටත් කටයුතු කරනවා. විදේශගත ශ්‍රමිකයින්ට මිලියන දෙකක් දක්වා අඩු පොළියට ණයක් ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අයට වගේ ම නැවත ලංකාවට පැමිණි ශ්‍රමිකයින් ව්‍යවසායකයින් බවට පත් කිරීමට මෙම ණය ක්‍රමය තවත් පුලුල් කරන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමස්ත අංශය මගින් විදේශ රැකියාවල නියුතු වූවන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙනවා.”


