“නිතරම ජලය පානය කරන්න”- ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා

දැඩි හිරු රශ්මියට එක එල්ලේ නිරාවරණය වීමෙන් සමේ රෝග පවා ඇති විය හැකි නිසා ඒ පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන්නැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

මේ දිනවල පවතින දැඩි උණුසුම නිසා එළිමහනේ ගැවසීම හැකිතාක් සීමා කරන්නැයි ද ඔහු ඉල්ලා සිටී.

උණුසුම හේතුවෙන් ශරීරයෙන් වැඩිපුර දහඩිය පිටවීම නිසා ‘තාප කම්පන’ තත්ත්වයට හෝ විජලනයන්ට ශරීරය පත්විය හැකි නිසා වෙනදාටත් වඩා ජලය පානය කරන්නැයි ද විශේෂඥ වෛද්‍යවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ ය.

තවදුරටත් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය.

“මේ දිනවල දිවා කාලයේ දැඩි රස්නයක් දැනෙනවා. සමහර වෙලාවට රාත්‍රියටත් රස්නයක් දැනෙනවා. ඒ නිසා දහඩිය පිටවීම වැඩි වෙනවා. දහඩියත් සමග ම ජලය සහ ලවණ ශරීරයෙන් පිට වෙනවා. විශේෂයෙන් ම සෝඩියම් ශරීරයෙන් පිටවෙනවා.

මේ හේතුවෙන් දරුවන්ට, වැඩිහිටියන්ට, මහාමාර්ගයේ වැඩ කරන පිරිසට, ක්‍රීඩා තරගවලට, අවුරුදු උත්සව ආදියට සහභාගි වන අයට, පුහුණුවීම් කරන සියලු දෙනාට ම වැඩිපුර දහඩිය දැමීම හේතුවෙන් අපහසුතාවට පත්වීමට ඉඩ තියෙනවා. මහන්සිය, නිදිමත ගතිය, ඇඟපත වේදනාව, වමනය වැනි රෝග ලක්ෂණ කිහිපයක් ඇති වෙනවා.

වැඩිපුර ජලය සහ ලවණ ශරීරයට නොගතහොත් වැඩිපුර දහඩිය දැමීමෙන් තාප කම්පන තත්ත්වයන් පවා ඇති විය හැකියි. මේ තත්ත්වයන් වළක්වා ගන්න පුළුවන් ප්‍රතිකාරයක් විධියට ශරීරය තුළට ජලය සහ ලවණ ලබා දීම තුළින්. එහෙම නොවුණොත් විජලනයට පත් වෙන්න පුළුවන්.

පාසල් දරුවන්ට, පාසල් බස් රථයේදී වුණත් වතුර ටික්ක බොන්න කියන්න. පාසලේදී වුණත් ඉගෙන ගන්න කාලය අතරතුර යම් කිසි වේලාවක් දෙන්න දරුවන්ට ජලය පානය කරන්න. කෘත්‍රිම පාන ගැන නොවේ අපි කියන්නේ. ස්වභාවික පාන ගැන. වතුර බෝතලයක් ගෙනියන දරුවට වතුර බෝතල් දෙකක් දෙන්න. දරුවෝ වතුර බොනව ද කියලා නිරීක්ෂණය කරන්න. ඇතැම් විට තාප කම්පන තත්ත්වයට පවා මේ දරුවෝ යොමු වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් හිරු එළියට එක එල්ලේ නිරාවරණය වුණා ම සමේ රෝග එන්න පුළුවන්. මේ දවස්වල හැම දෙනා ම හැකි තරම් ජලය පානය කරන්න. දිනකට දෙවරක්වත් ස්නානය කරන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *