ධාතු මන්දිරයට පූජා කර තිබූ ඇත් දළ යුගලය විහාරස්ථ හිමි විකුණන්න සැලසුම් කරලා!

විහාරස්ථානයකට පූජා කරන ලද ඇත් දළ යුගලය ජාවරම්කරුවන් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලකට විකිණීමට සැලසුම් කල බව කියන විහාරාධිපති භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසයි.

මාතර ප්‍රදේශයේ පුද්ගලයකු ඇත් දළ යුගලක් විකිණීමට ගැනුම්කරුවෙකු සොයන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ඒකකය ලැබුණු රහසිගත තොරතුරක් මත, පසුගිය පෙබරවාරි 12 දින මාතර පිටබැද්දර ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස එම ඇත් දළ යුගලය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව, ඇත් දළ යුගලය පිටබැද්දර ප්‍රදේශයේ විහාරස්ථානයක ධාතු මන්දිරයකට පූජා කරන ලද්දක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි. එම තොරතුර සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයේදී ඒ බව සනාථවීමෙන් අනතුරුව 65 හැවිරිදි විහාරාධිපති හිමි නම පෙරේදා (19දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

වසර පහකට පමණක් ඉහතදී ධාතු මන්දිරය වෙත පූජා කර තිබූ මෙම විශාල ප්‍රමාණයේ ඇත් දළ යුගලය. සැකකාර හිමිනම විසින් උපක්‍රමශීලීව විහාරස්ථානයෙන් බැහැරට ගෙන ගොස්, ජාවාරම්කරුවන් මාර්ගයෙන් විකිණීමට සැලසුම් කර තිබූ බව පොලිසිය පවසයි. සැකකාර හිමිනම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *