කොතමලා ඔයේ මසුන් අබිරහස් ලෙස මිය ගියේ ඇයි?

තලවකැලේ ඉහළ කොත්මලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කොත්මලා ඔයේ වෙසෙන මසුන් අබිරහස් ලෙස මිය යාමට හේතුව ජලයට රසායනික ද්‍රව්‍යයක් මුසුවීමෙන් බවට සැකයක් ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන පැවසීය.

අඹේවෙල ප්‍රදේශයේ සිට මෙරායා, ඇල්ජින්, අගරකන්ද, ලිඳුල, තලවකැලේ දක්වා කිලෝමීටර් 40ක් පමණ දුරට කොත්මලා ඔයේ ජලය ගලා බසින අතර එම ඔයේ අඹේවෙල සිට ලිඳුල අගරකන්ද දක්වා කිලෝමීටර් 12ක් පමණ දුරට ඔයේ මසුන් දහස් ගණනින් ඉකුත්දා (අප්‍රේල් 16) සිට මියගොස් සිටි නිසා මියයන මසුන්ගේ මාංස ආහාරයට නොගන්නා ලෙස ජනතාව දැනුවත් කර මියගිය මත්ස්‍ය ශරීර කොටස් සහ කොත්මලා ඔයේ ජල සාම්පල් කිහිපයක් පරීක්ෂා කිරීම සඳහා පේරාදෙණිය පශු පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කළ බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය රිෂි තුරෙයිරාජා පැවසීය.

කොත්මලා ඔයේ පසුගිය දින කිහිපය තුළ ගලා ගිය ජලය තද කළු පැහැයක් ගෙන තිබූ බවත් 17දා දින පස්වරුවේ ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ට ම ඉහළ ගොස් තිබූ නිසා ඊයේ (18දා) කොත්මලා ඔයේ ගලා බසින ජලයට කිසිදු බලපෑමක් සිදු නොවී ඇති බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරිය කියා සිටියා ය.

අඹේවෙල ප්‍රදේශය හරහා ජලය ගලා බසින කොත්මලා ඔය ආසන්නයේ පිහිටි සත්ත්ව ගොවිපොළක් 17දා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබ එහි ජල සාම්පල් කිහිපයක් ද ලබාගෙන එම පරීක්ෂණාගාරය වෙත යොමු කිරීමට ද නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පියවර ගෙන තිබිණි.

කොත්මලා ඔයේ ජලය ඔය දෙපස ඇතැම් පදිංචිකරුවෝ කෘෂිකර්මාන්තය සඳහා සහ දෛනික අවශ්‍යතාවන්ට භාවිත කරනු ලබති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *