අවුරුද්දෙන් පසුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් හමු වීමට ජනපති සැලසුම් කරයි

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් හමුවීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (අප්‍රේල් 10) පැවසීය.

ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරුන්, අධිකාරි හා කොමිෂන් සභාවල සභාපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හමුවීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව සාකච්ඡා කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී හෙතෙම මේ බව කීවේ ය.

රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීම අවශ්‍ය බව ත්, සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව අලුතින් සිතා රටට අවශ්‍ය අලුත් වැඩපිළිවෙළ සමග සියලු දෙනා පෙළගැසිය යුතු බව ත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

රටේ ආර්ථිකය නැවත ගොඩනැගිය නොහැකි යැයි බොහෝ දෙනා සිතුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා රජය ඇතිකරගත් එකඟතාව සමග නැවත රටේ ආර්ථිකය පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් තැබීමට සියලු දෙනාට අවස්ථාව ලැබුණු බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

2025 ඉලක්කගත සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීමට සියලු පාර්ශවයන්ගේ දායකත්වය ලබා ගැනීම තම අපේක්ෂාව බව ද හෙතෙම කීවේ ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී නුවරඑළිය නව නගර සංවර්ධන සැලැස්ම සහ නුවරඑළිය සංචාරක සැලැස්ම එළිදැක්වීම සිදු කෙරිණි.

තිරසර සහ සෞම්‍ය සංවර්ධන වැඩපිළිවෙළක් තුළින් නුවරඑළිය දිස්ත්‍රික්කය පරිසර හිතකාමී දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්විය.

එමෙන් ම, ප්‍රදේශයේ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නංවා ඔවුන්ගේ ජීවිත නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක කළයුතු වැඩපිළිවෙළ පිළිබඳවද දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

තුරඟ තරග පිටිය සහ වැව සංවර්ධනය, වැව අසල රථගාල් පහසුකම් වැඩි දියුණු කිරීම, නුවරඑළිය නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

ආයෝජකයන්ට හෝ කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය ලෙසට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සම්පත් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවත් පරිසර හිතකාමී සහ සැලසුම්සහගත සංවර්ධනයක් දිස්ත්‍රික්කය තුළ ඇති කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයට වසර පුරාම සංචාරකයන් ගෙන්වා ගත හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් විශාල ගොඩනැඟිලි වෙනුවට විවේකීව ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් නිර්මාණය වන ආකාරයට සැලසුම් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.

විශාල ගොඩනැගිලි ඉදිකිරීම හේතුවෙන් නගරය විනාශ වී ඇතැයි පැවසූ හෙතෙම නුවරඑළිය නගරය තුළ අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදිකරනවා වෙනුවට නිසි සැලැස්මකට අනුව ඉදිකිරීම් සිදු කරන ලෙසට උපදෙස් දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *