පොලිස් ලොක්කෝ රැසකට ස්ථානමාරු

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු පොලිස් නිළධාරීන් රැසකට පොලිස්පතිවරයා විසින් අද ස්ථානමාරු ලබාදී ඇත.

මෙසේ ස්ථානමාරුලබාදී ඇති නිලධාරීන් අතර පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාත්, පුත්තලම කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත්, ආණමඩුව ප්‍රදේශයභාර සහකාර පොලිස් අධිකාරීවරයාත්, ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයාත් සිටින බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානයටත්, සෙසු නිලධාරින් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටත් කාර්ය භාරයක් නොමැතිව මාරුකර යවා ඇති බව පොලීසිය කියයි.

මෙම ස්ථානමාරුවීමට මුල්වී ඇත්තේ පසුගිය 22 වෙනිදා ආණමඩුවේදී නවගත්තේගම පොලීසියේ සේවයේ නිරත කොස්තාපල්වරයෙක්ට විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ නිලධාරීන් පිරිසක් පහරදී පැහැරගෙන ගොස් සුසාන භූමියට දමා ගියේ යැයි කියන සිදුවීම බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

විශේෂ කාර්ය බලකාය පාර්ශවයෙන් පවසනුයේ ගංජා වැටලීමකට ගිය අවස්ථාවේදී කොස්තාපල්වරයා අනවශ්‍ය ලෙස නිලධාරීන් සමඟ ගැටුමක් ඇතිකරගත් බවය. මේ සම්බන්ධයෙන් දෙපාර්ශවයේම චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොකිරීම හේතුවෙන් මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක වී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *