යන්ත්ර මන්ත්ර ගුරුකම් වලින් අප රටේ හටපු ජනාධිපතිවරුන් ඇතුලු ප්රභූවරුන්ට ආරක්ෂාව සැපයූ අනුරාධපුර ඥාණා මෑණියන්ගේ දියණියගේ නිවසේ තිබූ රුපියල් අසූලක්ෂ පනස්දහසක් පමණ වටිනාකමකින් යුතු රන් ආභරණ සහ මුදල් සොරකම් කර ඇති බව ඇයගේ බෑණනුවන් විසින් පෙරේදා (20) දින අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇත.
සොරකම් කර ඇති රන් භාණ්ඩ අතර රුපියල් ලක්ෂ 48ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද රන් තැලි 03ක්ද රුපියල් ලක්ෂ 09ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද වළලු 02ක්ද,රුපියල් ලක්ෂ 06ක් පමන වටිනා දියමන්ති ඔබ්බවන ලද මුදු 02ක්ද,රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද කරාබු ජෝඩු 02ක්ද වන බව ඥානා මෑණියන්ගේ බෑණනුවන් පොලිසියට පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ අල්මාරියේ පෙට්ටි 03ක තිබුණු මෙම රන් ආභරණ ප්රමාණය පෙරේදා සොයන විට නොතිබුණු බවත් 02 වෙනිදා උත්සවයකට සහභාගි වීම සඳහා ඒවා පැළඳ යළි එම ස්ථානයේම තැම්පත් කළ හෙයින් පසුගිය 02 වෙනිදාත් 20ත් අතර මෙම සොරකම සිදු වී ඇති බවත්ය.
මේ වන විට වසර 06ක් තිස්සේ සේවය කළ මෙහෙකාරිය මෙම සොරකමට සැක කරන බව පොලිසිය පවසයි.ඇය දැනට ඇයගේ සැමියාත් සමඟ ආගිය අතක් නැති බවද පොලීසිය කියයි.


