ලංකාවේ පශු සම්පත් සංවර්ධනයට ඉන්දීය සහයෝගය

පසුගිය වසරේ සිට බිඳ වැටී තිබෙන මෙරට පශු සම්පත් සංවර්ධන අංශය යළි නගා සිටුවීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබා දීමට මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ එකඟත්වය පළ කර තිබේ.

අවස්ථා කිහිපයකදී ඉන්දීය මහකොමසාරිස්වරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමග මෙම කාරණය සම්බන්ධව සාකච්ඡා කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ද මෙරට පශු සම්පත් අංශයේ සංවර්ධනය සඳහා ඉන්දීය රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ කර ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ පසුගිය 16 දින සිට අද දින (මාර්තු 19) දක්වා ඉන්දියාවේ නව දිල්ලිහිදී පෑවත්වෙන The First Global Conference on International year of Millet සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමරවීර මහතා සහභාගි වී තිබේ.

එහිදී ඉන්දියාවේ ප්‍රමුඛ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන Mother Dairy කර්මාන්ත ශාලාව අමාත්‍යවරයා ඊයේ නිරීක්ෂණය කර ඇත.

දිනකට කිරි ලීටර් ලක්ෂ 50ක් පමණ මෙම කර්මාන්ත ශාලාව ආශ්‍රිතව කිරි හා කිරි නිෂ්පාදන කර්මාන්තය සඳහා භාවිත කරන බව ත් නැවුම් එළකිරි ඉන්දීය මහ ජනතාවට ලබා දීම සඳහා බයිසිකල් ආශ්‍රිතව නිපදවන ලැබූ ජංගම වෙළෙඳ රථ යොදා ගනිමින් ඒවා මහ ජනතාවට අලෙවි කිරීම සිදු කෙරෙන බව ත් කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය.

එමෙන් ම කිරි ආශ්‍රිත නිෂ්පාදන 300කට වඩා පාරිභෝගික ජනතාවට එම සමාගම නිපදවන බව එම අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඉන්දීය පශු සම්පත් ගොවිපොළවල දැනට භාවිත කරන ඉහළ තාක්ෂණය මෙන් ම දැනට අපේ රටේ වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි ගව විශේෂ නොමැතිවීම නිසා උසස් වර්ගයේ ගවයින් රටට ලබා දීමට ද ඉන්දීය රජය ඒකඟතාව පළ කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මෙම කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීමට සහභාගි වෙමින් ප්‍රකාශ කර ඇත.

පසුගිය වසරේ මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය පහත වැටීම හේතුවෙන් රට තුළ කිරි හා කිරි නිෂ්පාදන කර්මාන්තය 19%කින් පමණ පහත වැටී තිබේ.

මේ අතර, මෙරට රජයට අයත් සත්ව ගොවිපොළ කිහිපයක් ඉන්දීය – ශ්‍රී ලංකා සහයෝගිතාව මත පවත්වා ගෙන යාමට ද අවධානය යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *