අතරමග නවතා දැමුණු කොළඹ කොටුව සිට මාලඹේ දක්වා වූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, කොළඹ නගරයේ මාර්ගවල පවතින දැඩි රථ වාහන තදබදයට විසඳුමක් ලෙස යෝජනා වූ මෙම ව්‍යාපෘතිය සඳහා විකල්ප යෝජනා ලබා ගැනීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් ද පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ය.
2020 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2024 වසරේ මැද භාගය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබුණ ද පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ එම ව්‍යාපෘතියේ ඉතිරි කටයුතු අතහැර දැමිණි.
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියෙන් (JICA) මූල්‍ය හා තාක්ෂණික සහය මත ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම ලෙස සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් මිලියන 1,850ක මුදලකි.
ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් වී සිදු කළ ජපාන සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට එකඟතාව පළ කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ දිවෙන දුම්රිය, කිලෝමීටර් 16ක දුරක් ගමන් ගන්නා අතර එය මාලඹේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ස්ථාන 16ක නවත්වනු ඇත.


