ඡන්දය තවත් කල් යන ලකුණු

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවසුයේ, මුදල් නොමැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාව රැස්වී තැපැල් ඡන්දය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවයි.

ඡන්ද පත්‍රිකා සහ මැතිවරණයට අවශ්‍ය මුදල් නොලැබීම නිසා තැපැල් ඡන්දය පමණක් නොව අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසීමද තවදුරටත් කල් දැමීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය මෙම මස 28,29,30 සහ 31 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබේ. තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා තැපෑලට භාරදීමට නියමිතව ඇත්තේ මෙම මස 21 වැනිදාය.

මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් පෙරේදා (13 වැනිදා) පස්වරුව වනවිටදී ද මුදල් ලැබී නොතිබුණු බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පැවසුවාය.

මෙම තත්ත්වය මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ හැකියාවක් නොමැති බවද ඇය කීවාය.

දැනට දිස්ත්‍රික්ක 17 ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇතත්, එලෙස මුද්‍රණය කර තිබෙන ඡන්ද පත්‍රිකා කොපමණදැයි ගණන් ගැනීමට සිදුවන බවත්, ඉතිරි ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ඇරඹීමට යම් මුදල් ප්‍රමාණයක් රජයේ මුද්‍රණාලයට අවශ්‍ය බවද ඇය පැවසුවාය.

එමෙන්ම පළාත් පාලන ආයතන 341ක නිල කාලය මේ මස 19 වන දින මධ්‍යම රාත්‍රී 12.00න් පසුව අවසන් වන අතර සියලු ම මහ නගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන්ට සහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල පාලනය ඒවායේ ලේකම්වරු යටතට පත්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

සියලු ම පළාත් ආණ්ඩුකාරවරු කැඳවූ විෂය භාර ඇමති, අගමැති දිනේෂ් ගුණවර්ධන මෙම මස 20 වන දා යින් පසු ඒ ඒ පළාත් පාලන ආයතන, නාගරික කොමසාරිස්වරුන් හා පළාත් පාලන ආයතන ලේකම්වරුන්ගේ සහයෙන් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ඊයේ (මාර්තු 14) උපදෙස් දී ඇත.

රජය ගනු ලබන තීන්දු, තීරණ පළාත් පාලන ආයතන මට්ටමෙන් ක්‍රියාවට නැංවීමේදී ජනතා අපේක්‍ෂාවන් ඉටුවන අන්දමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දෙන අගමැතිවරයා, එහිදී පළාත් පාලන ආයතනවල කටයුතු පිළිබඳව නිරන්තර සොයා බැලීමක් ආණ්ඩුකාරවරුන් විසින් කළ යුතු බව සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *