රුපියල් කෝටියකට අධික හොරයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු සැකකාරිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ සිදුකළ විමර්ශන වලින් අනාවරණය වූ තොරතුරු අනුව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් වලින් මිලදී ගත් බව කියන වැලිවේරිය කිරිකිත්ත ප්‍රදේශයේ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩම සහ නිවස ගම්පහ මහාධිකරණය නියෝග මත රාජසන්තක කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් 2021 ජූලි මස 19 වෙනි දින හොරයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 225 හා එම ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 8 ලක්ෂ 69800 මුදලක් සමග පිටකෝට්ටේ ,මිරිහාන රජමහා විහාර මාවත පදිංචි ඕමල්පගේ දිනේෂ් හර්ෂ රණසිංහ සහ එම සැකකරුගේ පෙම්වතිය බව කියන බොරැල්ල සර්පන්ටයින් පාර පදිංචි අරුනි නදීශිකා අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සහ සැකකාරිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා සිදුකළ නියෝගයක් අනුව සිදු කළ විමර්ශනවලින් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් වලින් එම නිවස මිලදී ගත් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
නීති විරෝධී ආකාරයට උපයා ගත් මුදල් වලින් මිලදී ගත් දේපල සම්බන්ධයෙන් 2011 අංක 40 පනතින් සංශෝදිත මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 8 (2) වගන්තිය ප්‍රකාරව මෙම නිවස ඉඩම ගම්පහ මහාධිකරණය මගින් ක්‍රියා විරහිත කර තහනම් කිරීමට ලක් කර එකී පනතේ එකොළොස් වන වගන්තිය ප්‍රකාරව මහර ප්‍රාදේශීය ලේකම් එම නිවසේ ප්‍රතිග්‍රාහකයා වශයෙන් පත්කළ බව පොලිසිය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සැකකාරිය වන පල්ලිය ගේ අරුනි නදීශිකා නැමැත්තිය බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද එම නිවස වෙත කැඳවා සැකකාරිය ඉදිරිපිට දී එම නිවස සෝදිසි කිරීම සඳහා වරෙන්තුවක් ද නිකුත් කර තිබූ බව පොලිසිය කියයි.
කවද සැකකරුවා සැකකාරිය සැකකාරියගේ නමින් බැංකු කීපයක තැන්පත්ව ඇති රුපියල් කෝටි 11කට ආසන්න මුදල් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙක් පැවැසීය.
2023-03-09


