ඇතැමුන්ට ආහාර ගැනීමට රුචියක් ඇති වෙන්නේ නෑ. අප්‍රිය කරනවා. ශරීරයත් මේ නිසා කෘශ වෙන්න ගන්නවා. ලේ අඩු ගතියක්ද දැනෙනවා. ඔබ දුර්වලයි කියා ඔබටම හිතෙනවා. මේත් එක්කම සමහරුන්ට කුෂ්ඨ රෝග පිට දානවා. උදරයේ පුරවා දැමූ බවකුත්, දැඩි අපහසුවකුත් දැනෙන්න ගන්නවා. මෙවැනි තත්ත්වයකදී පුරාණ වෙදැදුරන් නිර්දේශ කළ බොහෝ පැරැණි පොත්පත්වලත් විස්තර කෙරෙන බලගතු ඔසුවක් තමයි “ලෞහාරිෂ්ටය” මෙය වෙළෙඳපොළේදී මිලදී ගත හැකි මුත් ඔබ දන්නේ නෑ එය හැදෙන්නේ කොහොමද කියලා. එහි සංයුතිය, ඊට එකතු කරන දේ මොනවද කියා. ලෞහාරිෂ්ටය හරියටම හදන්නේ මෙහෙමයි.
හල්පොතු, අසන (ගම්මාළු) පොතු, කිහිරිය, හෙළකිහිරිය, තමාල පත්‍ර, පුවක් ගෙඩි (වියළි) භූජීපත්‍ර, කබරස, මුල්, මැඩහඟු (වේළා පරිත්තිය), සුදු හඳුන්, රත් හඳුන්, ඇට්ටේරිය, මඟුල් මාරා, මොර, වෙලං, කුඹුක්, තල් පොතු, තේක්ක, කුඹුරු, කරඳ, අඟුණ වැල් මුල්, අගිල්, වැල්ලන්ගිරිය සියල්ල පලම් දෙසීයක් ගෙන කපා කොටා තළා, දිය දෝත සතරක් වත්කර දිය ද්‍රෝනයට සිඳ පෙරා, මී පැණි කසායෙන් අටෙන් පංගුවක්ද, උක් සතුරු පලම් සියයක්ද, සුනු කරන ලද තිප්පිලි, තිප්පිලි මුල්, සිවිය, රත්නිටුල්, ඉඟුරු, ගම්මිරිස්, ගජතිප්පිලි, රේණුකා (වැල් මොලඟු), කරඳමුංගු, අසමෝදගම්, කෙළිඳ ඇට, දියමිත්ත, සූදුරු අබ, කොහොඹ ඇට, පෙරුම්කායම්, සිරිතේක්කු, නියද අල, අතිවිඩයන්, වදකහ, වලඟගසාල්, කටුකරෝසන යන සියල්ල පලම් 24ක්ද, ශුද්ධ කර භස්ම කළ තීක්‍ෂණ ලෞහ පලම් 4ක්ද බහා ගිතෙල් ගා පිළියෙල කළ මැටි බඳුනෙක්හි තිප්පිලි සුනුමීයෙන් අනා ගා ඊට වත්කර කට වසා, බැඳ වී මැද තබා මාසයක් ගිය තැන පෙරා ගත යුත්තේය.
මීට අමතරව ශරීරය ක්‍ෂය වනවාට කුෂ්ඨ රෝගවලට, ග්‍රහණි දෝෂවලට, ප්‍රමේහ රෝගවලට ඉතා ගුණ ප්‍රබල ඔසුවක් තමයි ඔබ්ධුල්‍යාද්‍යරිෂ්ටය එය පුරාණ ඉසිවර වෙදැදුරන් හදන්නේ මෙහෙමයි කියලා පොතපතේ සඳහන් වී තිබුණා. මෙන්න ඒ වට්ටෝරුව.
බුබ්බුල පොතු 200 පලමක් ගෙන දිය ද්‍රෝණ සතර එකට සිඳ, පෙරා, එය සීතල වූ කල්හි උක් හකුරු 300 පලමක්ද, ධාතකී දහසය පලමක්ද, තිප්පිලි පලම් දෙකක්ද, සාදික්කා, කක්කෝල, කරාබු, කුරුඳු පොතු, එනසාල්, කොල්ලන් කොළ, නාමල් රේණු, ගම්මිරිස් පලම බැගින් ගෙන සුනුකර ඊට යොදා භාජනයක බහා කට බැඳ මාසයක් තබා පෙරාගත යුත්තේය. (බුබ්බුල වෙනුවට සීනිද්ද පොතුද ගත හැකි බව කියැවේ.)
මෙන්න මෙහෙමයි පුරාණ වෙදැදුරන් රෝග සුව කළේ…..!


